Wednesday, October 3, 2018

මුල් ළමාවිය සංවර්ධනය

https://jeffblock.files.wordpress.com/2016/07/chidlren-sharing.jpg
නිසි මුල් ළමාවිය සංවර්ධනය මනා පෞරුෂයකින් හෙබි දරුවන් බිහි කරයි...
 
වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙන න්‍යෂ්ටික පවුල් ක‍්‍රමය හා විවෘත ආර්ථික ක‍්‍රමය තුළ බොහෝ මවුපියෝ තම දරුවා නිසි වයස් පූර්ණය කිරීමට ද මත්තෙන් එනම්  අවුරුදු 2 සම්පූර්ණ වූ පසු පෙර පාසල් හෝ පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන වෙත ඇදගෙන යාමට පෙලඹෙති. එහෙත් සාමාන්‍යයෙන් දරුවෙකුගේ  පෙර පාසල් අවධිය ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 3 ත් 5ත් අතර කාලයයි. මේ නිසා වාණිජකරණ සමාජයට අනුගත වෙමින් මව්පියන් විසින් මේ සිදු කරන ක‍්‍රියාව අනුමත කළ නොහැකිය. එයට හේතුව වන්නේ, පූර්ව ළමා විය තුළ අන් කවර කාලයටත් වඩා ආරක්ෂාව පෝෂණය හා සෙනෙහස ලබා දීම දරුවාගේ කායික හා මානසික සෞඛ්‍ය කෙරෙහි ද ඉවහල් වන නිසාවෙනි. මේ නිසා අවම වශයෙන් වයස අවුරුදු තුන සම්පූර්ණ වන තෙක් හෝ දරුවා මවුපිය ඇසුරේ තබා ගැනීම මවුපියන්ගේ වගකීමක් වේ.

මව් ඇකයේ හැදෙනා කුඩා දරුවා සමාජයට පිවිසීමේ මුල්ම අඩිතාලම දමන්නේ පෙර පාසල් අධ්‍යාපනය තුළින් වන නිසා  ළමා පෞරුෂය සවිබල ගැන්වීමෙහි ලා මහඟු මෙහෙවරක් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන මඟින් ඉටු විය යුතුය. එනිසා පෙර පාසල් අධ්‍යාපනය සකස් විය යුත්තේ නිසි ප‍්‍රමිතියකට අනුකූලවය. 1943 කන්නන්ගර වාර්තාවෙන් මෙන්ම 1961 ජයසූරිය කොමිසම් වාර්තාවෙන්ද පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම හා අවශ්‍යතාව මතුකර දක්වා ඇත. මුල් ළමාවියේ පූර්ණ සංවර්ධනයක් සඳහා පෙර පාසල් අධ්‍යාපනයේ අන්තර්ගතය මෙන්ම පරමාර්ථ රටින් රටට වෙනස් වන අතර ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ පරමාර්ථ හා අරමුණු වන්නේ, දරුවාගේ නීරෝගි ශාරීරික වර්ධනය, දෛනික වැඩකටයුතු ස්වෝත්සාහයෙන් ඉටු කිරීමට උත්සාහ කිරීම, තම සිතැඟි අන්‍යයන්ට ප‍්‍රකාශ කිරීමේ හැකියාව දියුණු කිරීම, ආචාර ධර්ම සිරිත් විරිත් හා ගෞරව සත්කාර කිරීමට පෙලඹවීම හා ඉදිරිපත් වීමේ හැකියාවට මඟ පෑදීම යනු කරුණුය.
https://ronefoxync.files.wordpress.com/2017/06/14948659136237.jpg?quality=80&strip=all&strip=all 
වර්තමාන පෙර පාසල් සංකල්පයේ ක‍්‍රියාත්මක වන මොන්ටිසෝරි මූලධර්ම සංකල්පයේ නිර්මාතෘවරිය වන්නේ මාරියා මොන්ටිසෝරි මැතිනියයි. මෙතුමිය විසින් හඳුන්වා දෙන ලද මොන්ටිසෝරි මූලධර්මයන් අද වන විට තරමක විවේචනයට ලක් වී ඇති අතර එයට හේතුව වී ඇත්තේ, මොන්ටිසෝරි මූලධර්ම තුළ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන රටාවක් අන්තර්ගත වී ඇති බැවිණි. පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයන්ගේ මුඛ්‍ය කාර්යභාරය විය යුත්තේ, මුල් ළමා වියේ පූර්ණ සංවර්ධනයක් උදෙසා අවශ්‍ය ක‍්‍රියාකාරකම් මඟින් ළමා මනස හැඩගැස්වීමයි. එහෙත් පවතින පෙර පාසල් අධ්‍යාපනය මඟින් ළමයාගේ සංකල්පනාත්මක ශක්‍යතා වර්ධනය වීමක් සිදු නොවන බවත්, යාන්ත‍්‍රික ඒකාකාරී අධ්‍යාපනයක් ඒ තුළ ගැබ්ව ඇති බවත්,  අධ්‍යාපනඥයන් විසින් පෙන්වා දී ඇත. මේ නිසා ඔබේ දරුවාගේ පෙර පාසල හෝ පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය දරුවා පදනම් කර ගත් අධ්‍යාපන රටාවකට අනුකූලව ඉගෙනුම් ක‍්‍රියාවලියේ යෙදෙන්නේද යන්න සොයා බැලීම ඔබේ වගකීමකි.

මානව ජීවිතයේ ඉතා සංවේදී අවධියක් වන ළමා ළපටියන්ගේ මුල් ළමා විය සංවර්ධනය වගකීම් සහගත ලෙස ඉටු කළ යුත්තකි. එයට හේතුව වන්නේ, මව් ඇකයෙන් මිදී පැමිණෙන ළදරුවාගේ පෝෂණය, ආදරය, සෙනෙහස, රැුකවරණය හා සමාජානුයෝජනය ද අධ්‍යාපනයට පිවිසුම් මං තනන්නේ පෙර පාසල් ගුරුවරියන් වීමයි. මේ නිසා පර පාසල් ගුරුවරියන් ආකල්ප හා කුසලතාවලින් පිරිපුන් වීම අනිවාර්ය විය යුතු අතර, ළමා මනස ළමා අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳ නිසි අවබෝධයක් ඇති, සුදුසුකම් සපුරාලන ලද අයෙකු විය යුතුය. එසේම, අත්‍යවශ්‍ය උපකාර තුළින් නිපුණත්වයට සහාය වීම, දරුවාට මැනවින් සවන් දීම, ළමා මනසට හා වයසට යෝග්‍ය ක‍්‍රියාකාරකම්හි නියුක්ත කරවීම, තීරණ ගැනීමට අවස්ථාව ලබා දීම, හැකි සෑම අවස්ථාවකදීම දරුවා ප‍්‍රශංසාත්මකව ඇගයීම, අනෙක් දරුවන් හා සංසන්දනය නොකිරීම, ප‍්‍රියජනක ගති ලක්ෂණ පැවතීම, ඉවසීම හා මනා සන්නිවේදන ශක්‍යතාවය යන ගුණාංගයන්ද පෙර පාසල් ගුරුතුමියන් සතු විය යුතුය. එහෙත් සෑම පෙර පාසල් ගුරුවරියක් තුළම මෙම සුදුසුකම් ඇතිද යන්න ගැටලූවකි. මන්ද අද වන විට හතු පිපෙන්නාක් මෙන් පෙර පාසල් බිහිවීමද සිදු වන නිසොවෙනි.  එමෙන්ම හුදෙක් මුල්‍යමය අරමුණු මත පදනම් නොවී, දෙවැනි මවක ලෙසින්  සිඟිත්තන්ට සැබෑ ගුරු මවක් වීම සෑම පෙර පාසල් ගුරුවරියකගේම ජීවනාදර්ශය විය යුතුය.

දරුවාගේ කායික හා මානසික වර්ධනය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව තම දරුවන්ට ලිවීමට කියවීමට හැකියාව ලබා දෙන මෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින මවුපියෝ නිසා  පුහුණු හා අත්දැකීම් අතින් කෙතරම් දක්ෂ පෙර පාසල් ගුරුවරියන්ට වුවද,  ඔවුනගේ කාර්යයන් නිසි ලෙස කරගෙන යාමට නොහැකි අවස්ථාවන්ද නැතිවාම නොවේ. ඇතැම් මව්පියන් පෙර පාසල් තෝරා ගැනීමේ දී අංක එකට සලකා බලනු ලබන්නේ, අක්ෂර මාලාව මුළුමනින් උගන්වන, ලිඛිත අභ්‍යාසවලට වැඩි නැඹුරු ඇති පෙර පාසල්ය. මෙනිසා මුලින්ම කළ යුත්තේ, පෙර පාසල හා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන යනු අධ්‍යාපනයට පෙර සූදානම් කරවීමේ ස්ථානයක් මිස පාසල් අධ්‍යාපනයෙන් ලබා දෙන තැනක් නොවන බව ම්වපියන්ට වටහා දීමයි . දරුවන් අක්ෂර ලිවීමට යොමු කරන්නේ, පළමු වන ශ්‍රේණියේ දී අත හුරු කරවීමේ සරල ක‍්‍රියාකාරකම් කරවීමෙන් පසුවය. පෙර පාසල හා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවලින් සිදුවෙනුයේ, දරුවාට නිදහස් මනසින් ස්වයං ඇගයුම් ක‍්‍රියාකාරකම් හි නියැළීමට අවස්ථාව ලබාදීම හා පරිසරයට අනුගත කිරීමයි. ක්ෂණික ප‍්‍රගතියක් දරුවා කෙරෙන් අපේක්ෂා කරමින් පෙර පාසලින් කඩිනම් අධ්‍යාපනයක් ලබාදීමට තැත් කිරීම වූ කලී අත්තිවාරමකින් තොරව නිවසක් තැනීමක් බඳුය. මේ නිසා බුද්ධියෙන් විමසා බලා කටයුතු කිරීමට මව්පියන් වග බලා ගත යුතුය.

සංකීර්ණ හා ව්‍යාකූල ක‍්‍රියාකාරකම්වලින් බැහැරව සැලසුම්සහගත හා සරල බවින් යුත් ක‍්‍රියාකාරකම් තුළින් දරුවා මෙහෙයවීම පෙර පාසල් අධ්‍යාපනයේ සැබෑ දායකත්වය විය යුතු අතර පෝෂණ වැඩසටහන් ද නිසි ප‍්‍රමිතියකට අනුව නිසි පරිදි ඉටුකරන්නේදැයි සැලකිලිමත් වීම මවුපියන්ගේ වගකීමයි. ඔබේ දරුවාගේ පූර්ණ සංවර්ධනය නිසි පරිදි සිදු වුවහොත් මනා පෞරුෂයකින් හෙබි දරුවෙකු අනාගතයේ බිහිවනු ඇත යන කාරණය මව්පිය ඔබ අවධාරණයේ තබා ගත යුත්තකි.
 https://theintelligentnest.files.wordpress.com/2013/08/sf-pano-toddlers-in-a-row.jpg
හිමාලි ප‍්‍රියංගිකා