Friday, July 22, 2016

සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න ඔබ සුදානම් ද?



ජීවිතයේ කුමන අවස්ථාවකදි හෝ අපට සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ. එහිදී නිවරදිව එයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබදව ඔබ දැනුවත් ද? සම්මුඛ පරීක්ෂණයකට සාර්ථකව මුහුණ දීමට සමහරවිට ඔබට මෙය ප‍්‍රයෝජනවත් වේවි.සම්මුඛ පරීක්ෂණයකදී ඔබව නිරීක්ෂණය කිරීමට අවම වශයෙන් දෙදෙනෙකුගෙන්වත් යුතු පැනලයක්(මණ්ඩලයක්) සිටිය හැකිය. එහිදී ඒ සියලුදෙනාගේ අවධානය ඔබ වෙත රදවා ගැනීමට ඔබ සමත්විය යුතුය. එහිදී ඔබේ හැසිරීම ඔබේ චරිත ස්වභාවය ආත්ම විශ්වාසය අන්අය සමග ගනුදෙනු කිරීමට ඔබට ඇති හැකියාව යන මෙම විවිධ පැතිකඩයන් ඔස්සේ ඔබව පරීක්ෂාවට ලක්කරනු ලබයි. එහිදි ඔබ කෙතරම් වටිනා සහතික රැුගෙන ගියද ප‍්‍රායෝගිකව ඔබ කෙරෙන් ඉහත ලක්ෂණ විද්‍යාමාන නොවන්නේ නම් ඔබ පරීක්ෂණයෙන් අසමත් වනු ඇත. මෙනිසා ඔබට වටින අදහස් කිහිපයක් මම අද කියන්න සුදානම්.

නියමිත වෙලාවට මිනිත්තු 15 කට පමණ පෙරාතුව ඔබ අදාළ ස්ථානයට යායුතුයි. 

සම්මුඛ පරික්ෂණයට යන ස්ථානය ඔබට නුහුරු නුපුරුදු තැනක් වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. සම්මුඛ පරීක්ෂණයට ඔන්න මෙන්න තියා ඔබ එහි ගියහොත් ඔබට යම්කිසි ගැස්මක් හෝ අවිනිශ්චිත හැගීමක් ඇතිවීම පුදුමයක් නොවන්නේය. එයින් ඔබේ මනසද ව්‍යාකූලභාවයට පත්වීම ඒකාන්තය. මේනිසා නියමිත වේලාවට මිනිත්තු කිහිපයකට හෝ පෙරතුව ඔබ අදාළ ස්ථානයට යා යුතුය. එසේ වුවහොත් අදාළ පරිසරයට යම්තාක් දුරකට හෝ ඔබට අනුගත වීමේ හැකියාව ඇතිවෙනු ලබයි.  එසේම ඔබට නිරවුල් මනසින් යුතුව සාර්ථකව සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට හැකියාව ලැබේ.

සම්මුඛ පරීක්ෂණ කමිටුවට ආචාර කිරීමේදී වඩාත් ගරුසරු ඇතිව ආචාර කළ යුතුයි.

සම්මුඛ පරීක්ෂණ පැනලය ඔබව නිරීක්ෂණයට ලක්කරන්නේ සම්මුඛ පරීක්ෂණයට ඔබ අදාළ දොරටුවෙන් ඇතුල්වන මොහොතේදී පටන්ය. මෙනිසා සිනාමුසු මුහුණින් යුතුව ඔබ අදාළ ස්ථානයට පිවිසිය යුතු අතර Good morning sir/mis/ madam යනාදි ලෙස ගරුසරු ඇතිව ඔබ විසින් ඔවුනට ආචාර කළයුතුය. එවිට විනිසුරු මඩුල්ලට ඔබ කෙරෙහි යහපත් ප‍්‍රතිරූපයක් ඇතිවෙනු නොඅනුමානය.

ඔබේ ජංගම දුරකථනය ක‍්‍රියාවිරහිත කරන්න

ජංගම දුරකථනයද ඇතැම්විට සම්මුඛ පරීක්ෂණයකදී ඔබ ඉවතට විසිවන සාධකයක් විය හැකිය. ඔබ ජංගම දුරකථනය ක‍්‍රියාවිරහිත නොකර තිබීමෙන් අවධානය ඒ වෙත යොමුවීමේ ඉඩකඩ වැඩිය. මේනිසා ඔබ සම්මුඛ පරීක්ෂණයට පෙනීසිටින සෑම මොහොතකම ඔබේ ජංගම දුරකථනය ක‍්‍රියාවිරහිත කරන්න.

ඔබ කතාකරන සෑම විටම විනිසුරුමඩුල්ලේ දෑස් දෙස කෙලින් බලා කතාකරන්න.

සම්මුඛ පරීක්ෂණයකදී Eye Contact මනා ලෙස පවත්වා ගැනීමද ඉතා විශේෂ කාරණයකි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඔබට යොමු කරන ප‍්‍රශ්න වලට පිළිතුරු දෙන විට ඔවුනගේ දෑස් දෙස කෙලින් බලා පිළිතුරු දිය යුතු අතර මුහුණේ සිනාහවද පවත්වා ගත යුතුය. එසේ සිදුකළ විට ඔබ පිළිබදව විශ්වාසයන් ඔවුනට ඇතිවීම ස්ථිරය. 

ඔබ වැඩිපුර කතාවට නොයා යුතුයි.

කතා කරනවිට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට කතා කිරීමට ඔබ විසින් වැඩිපුර ඉඩප‍්‍රස්ථාව සළසාදිය යුතුයි. ඔබ කතාකළ යුත්තේ අවශ්‍යම මොහොතේ දි පමණි.

විනිසුරුවන් කතාකරන විට ප‍්‍රශ්න ඇසීම බාධා කිරීම සිදුනොකළ යුතුය.

විනිසුරුවන් කතාකරන විට නිසිවිටෙක ඔවුනගේ කතාවට බාධා නොකළ යුතු අතර ඔවුනට අවශ්‍ය දේ කියා නිමකළ පසු ඔබ ඔබේ මතය හෝ ගැටලුව ඉදිරිපත් කළ යුතුවේ.

සෘජුව වාඩිවෙන්න. යම් තරමක් ඉදිරියට නැමෙන්න.

මේ ආකාරයෙන් සිටීමෙන් ඔබ ඔවුනගේ කතාවට ඇහුමිකන් දෙන බව ඔවුනට වැටහෙයි. ඔබ පිළිබද යහපත් ප‍්‍රතිරූපයක් ඇතිවීමට මෙයද හේතුවෙයි.
අමතක කරන්න එපා.......... සම්මුඛ පරීක්ෂණය අවසන්වන්නේ ඔබ අදාළ ස්ථානයෙන් පිටවුවාට පසුවයි. මේනිසා ඒවන තෙක් ඔබ ඔබේ හැසිරීම් රටාව මනාව හසුරුවා ගතයුතුයි. එමෙන්ම සම්මුඛ පරීක්ෂණය අවසන්වන තෙක්ම එයට සාර්ථකව ඔබට හැකි උපරිම ආකාරයෙන් මුහුණ දීමටද ඔබ වගබලා ගත යුතුවේ. එය ඔබේ පෞර්ෂයටද මනා හේතු සාධකයක් වේ.

2 comments: